Wednesday, August 29, 2012

ඉහළ කොත්මලේ කා ගේ ජයග්‍රහණයක්‌ ද?

ඉහළ කොත්මලේ
කා ගේ ජයග්‍රහණයක්‌ ද?


ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය පසුගිය ජුලි මස 14 වැනි දින ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. මේ යටතේ තලවාකැලේ නගරයට නුදුරින් කොත්මලා ඔය හරහා මීටර 35.5ක උසකින් හා මීටර 180ක්‌ පමණ දිගකින් යුක්‌ත වේල්ලක්‌ තනා ඇති අතර වර්ග කිලෝමීටර් 0.25ක පමණ ප්‍රදේශයක්‌ පුරා පැතිර ඇති ජලාශයක්‌ ද ඉදි කර තිබේ. එහි සිට කිලෝමීටර් 13ක්‌ පමණ දිගු උමගක්‌ ඔස්‌සේ හරවා යවන ජල කඳ භාවිතයෙන් නියම්ගම්දොර ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරයේ දී මෙගවොට්‌ 75 ප්‍රමාණයේ විදුලිජනක දෙකක්‌ මඟින් විදුලිය නිපදවනු ලැබේ. ඉන් පිට වන ජලය එක්‌ වන්නේ කොත්මලේ ජලාශයටයි.



මේ අනුව ඉහළ කොත්මලේ ජල විදුලි බල ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට්‌ 150ක පමණ ධාරිතාවක්‌ අලුතෙන් එක්‌ වී තිබේ. මෙය පුනර්ජනනය කළ හැකි විදුලි ප්‍රභවයක්‌ වන නිසා වර්තමානයේ දී ඉතා වැදගත් වේ. ඒ අද අප මුහුණ දී ඇති විදුලි අර්බුදය නිසා ය. අපේ රටේ ජල විදුලිබල නිෂ්පාදනය අඩු වන විට ඒ හි`ගය පියෑවීම සඳහා තාප විදුලි බලාගාර මඟින් විදුලිය නිපදවීමට විදුලිබල මණ්‌ඩලයට සිදු වේ. මෙය විදුලිබල මණ්‌ඩලයේ පාඩුව ඉහළ නංවන අතර රටේ ආර්ථිකයට ද පාඩු සිදු කරයි. කෙසේ වෙතත් මෙරට ඉදි කළ හැකි විශාල ප්‍රමාණයේ ජල විදුලි බලාගාර අතරින් අවසන් බලාගාරය ඉහළ කොත්මලේ වේ.

ඉහළ කොත්මලේ ජලවිදුලි යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේ දී ය. මූල්‍යාධාර සොයා ගැනීමේ සිට ගත හොත් එය ඉදි කිරීමට වසර දහයක පමණ කාලයක්‌ ගත වී තිබේ. එහෙත් සත්‍ය වශයෙන් ඉහළ කොත්මලේ ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක්‌ පිහිටුවීම පිළිබඳ අදහසට වසර හතළිස්‌ පහක පමණ අතීතයක්‌ තිබේ.

ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ 'පරිණාමය'

මේ බලාගාර ව්‍යාපෘතියේ ආරම්භය සිදු වන්නේ 1968 දී පමණ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි සංවර්ධනය සඳහා පිළියෙල කළ සැලැස්‌මේ මේ ප්‍රදේශයේ වේලි ඉදි කළ හැකි ස්‌ථාන කිහිපයක්‌ හ`දුනා ගැනීමත් සම`ග ය. කෙසේ වෙතත් මහවැලි සැලැස්‌මේ ඒවා ඇතුළත් නො වී ය. ඉන් අනතුරුව 1985-1987 අතර කාලයේ දී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් පසු කැලිඩෝනියා ජලාශය හා තලවකැලේ ජලාශයක්‌ සාධ්‍ය ව්‍යාපෘති ලෙස යෝජනා කර තිබේ. කැලිඩෝනියා ජලාශ ව්‍යාපෘතිය මීටර 70ක්‌ උස්‌ වේල්ලකින් යුක්‌තව ඉදි කිරීමට සැලසුම් කර තිබූ අතර හා එහි දී තැනීමට නියමිත වූ ජලාශය වර්ග කිලෝමීටර් 2.25ක්‌ පමණ වපසරියකින් යුක්‌ත විය. තලවකැලේ ජලාශය මීටර් 20ක්‌ පමණ උස්‌ වේල්ලකින් සමන්විතව ඉදි කිරීමට යෝජනා කර තිබූ වර්ග කිලෝමීටර් 0.4ක්‌ පමණ විශාල ජලාශයක්‌ ද තැනීමට නියමිත විය. කැලිඩෝනියා ව්‍යපෘතිය යටතේ පවුල් 2,500ක්‌ පමණ ද, තලවාකැලේ ව්‍යාපෘතිය යටතේ පවුල් 200ක්‌ පමණ ද, අවතැන් විය හැකි බව එවකට පැවැති දත්ත අනුව ගණන් බලා තිබිණි. ඒ කෙසේ වෙතත් මේ ශක්‍යතා අධ්‍යයනය ද පරිසරය හා නැවත පදිංචි කිරීම් සම්බන්ධව ප්‍රමාණවත් නො වන බව පෙන්වා දී තිබිණි. විශේෂයෙන් කැලිඩෝනියා ජලාශ යෝජනාවෙන් පරිසරයට හා ජනතාවට සිදු වන හානිය විශාල විය.

මේ අතරින් තලවාකැලේ පිහිටුවීමට නියමිත ජලාශය පිළිබඳව 1994 සැප්තැම්බර් මාසයේ දී විදුලිබල මණ්‌ඩලය පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවක්‌ සකස්‌ කරන ලදි. එහි දී ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාව නැවත පදිංචි කරවීම හා දියඇලිවලට සිදු වන සෞන්දර්යාත්මක හානිය ප්‍රධාන බලපෑම් සේ දක්‌වා තිබේ. මෙය බෙහෙවින් විවේචනයට ලක්‌ විය. මේ නිසා පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාව මත ව්‍යාපෘතියට අනුමැතිය දීම මධ්‍යම පරිසර අධිකාරිය කිහිප වතාවක්‌ ම ප්‍රතික්‌ෂේප කළේ ය. එහි උපදෙස්‌ මත විකල්පයක්‌ ලෙස 1996 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලද යොක්‌ස්‌µර්ඩ්/ලි`දුල ව්‍යාපෘතිය සඳහා ද තක්‌සේරු වාර්තාවක්‌ සකස්‌ කරන ලද අතර භූ විද්‍යාත්මක තත්ත්ව හා ප්‍රායෝගික නො වන බව දක්‌වා පෙන්වා දෙන ලදි.

මේ නිසා ව්‍යාපෘති යෝජනාව තීරණයක්‌ නොමැති ව ඇදී ගියේ ය. 1998 දී මේ ව්‍යාපෘතියට යම් යම් කොන්දේසි සහිතව පරිසර අමාත්‍යාංශය ලබා දුන් අනුමැතියට එරෙහි ව පරිසර පදනම අධිකරණයේ පැමිණිලි කළේ ය. එහි දී ඇති කර ගත් එක`ගතා මත ව්‍යාපෘතියට 2000 වර්ෂයේ දී පරිසර හා වනසම්පත් අමාත්‍යාංශයේ අවසර ලැබේ. ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන මත 2003 අංක 1283/19 දරන ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශිත 'ජාතික පාරිසරික (ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය - නිරීක්‌ෂණ) නියෝග' මඟින් පාරිසරික බලපෑම් පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය දක්‌වා තිබේ. 2002 දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාගන්නා ලද අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ 2006 දී පමණ ය.

ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක්‌ ලෙස දක්‌වා තිබේ. අපට පෙනෙන ආකාරයට නම් මෙය පරිසරයේත්, ජනතාව ගේත්, විදුලිබල සැපයුමේත් කිසියම් ජයග්‍රහණයකි.

පාරිසරික බලපෑම් අවම කිරීම

මේ ව්‍යාපෘතියේ මුල් සැලසුම් නිසා සිදු වන්නට තිබූ විවිධ පාරිසරික ගැටලු මේ ව්‍යාපෘතිය නිසා වළක්‌වා ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වී තිබේ. එය පාරිසරික වශයෙන් යම් ජයග්‍රහණයක්‌ සේ සැලකිය හැකි ය. මෙහි දී වැදගත් වන කරුණ වන්නේ ජාතික පාරිසරික පනත යටතේ මේ ව්‍යාපෘතියට අදාළව 2003 වර්ෂයේ දී නියෝග කිහිපයක්‌ නිකුත් කිරීම වැදගත් සන්ධිස්‌ථානයකි.

තලවාකැලේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති සංචාරක ආකර්ෂණයක්‌ ඇති දිය ඇලි අතරින් හතකට පමණ මේ ව්‍යාපෘතියෙන් බලපෑමක්‌ ඇති විය හැකි මට්‌ටමක තිබිණි. ඒ අතරින් වැඩි ම බලපෑමක්‌ ඇති විය හැකි ව තිබුණේ ශාන්ත ක්‌ලෙයාර්, ඩෙවොන් හා රම්බොඩ යන දිය ඇලිවලට ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ජලාධාර ප්‍රදේශය ශාන්ත ක්‌ලෙයාර් දියඇල්ලේ 98%කින් ද, ඩොවොන් ඇල්ලේ 87%කින් ද අඩු වීමට නියමිත ව තිබිණි. ජලය ලබා ගැනීමෙන් තවත් දිය ඇලිවලට ද මෙවැනිම බලපෑම් ඇති වීමට නියමිත විය. එහෙත් ගත වූ කාලයේ දී ඇති වූ වෙනස්‌කම් නිසා මේ දියඇලි රැසක්‌ ආරක්‌ෂා කර ගැනීමට හැකි වී තිබේ. පෙර සඳහන් 2003 ගැසට්‌ නිවේදනයෙන් ද මේ පිළිබඳව ප්‍රතිපාදන සපයා දී තිබේ. ඊට අනුව ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ල සඳහා ජලය ඝන මීටර් 18000ක්‌ ද ඩොවොන් දිය ඇල්ල සඳහා ඝන මීටර් 47250ක පමණ ජල ප්‍රමාණයක්‌ ද දෛනිකව ජලාශයෙන් මුදා හළ යුතු වේ. මේ අනුව අවසානයේ ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතියෙන් සැලකිය යුතු බලපෑමකට ලක්‌ වන්නේ ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ල පමණක්‌ බව පෙනේ. ඒ අනුව දියඇලි රැසක්‌ පවත්වා ගත හැකි වීම එක්‌තරා ජයග්‍රහණයකි. දිය ඇලිවල සෞන්දර්යය හා සංචාරක කර්මාන්තය පසෙක තැබුව ද මේ දිය ඇලි රැක ගැනීමේ පාරිසරික වැදගත්කම් බොහෝ ය.

මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා ඇති වූ සුවිශේෂ ජයක්‌ ද තිබේ. ඒ 19 වැනි සියවසේ මැද භාගයේ දී සොයාගත් Ravana politissima නම් ශ්‍රී ලංකාවට ආවේණික ගොලුබෙල්ලා, ඉන්පසුව නැවත වාර්තා වන එක්‌ ප්‍රදේශයක්‌ මේ ප්‍රදේශය වීම නිසා ය. ජලාශ ප්‍රදේශයේ ජීවත් වූ මේ ජීවී ගහනය වෙනත් ප්‍රදේශයකට පරිස්‌ථාපනය කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ. මුල් ව්‍යාපෘතිය ඒ අයුරින් ම 1990 දශකයේ දී ක්‍රියාත්මක වූයේ නම් මේ පිළිබඳව නො දැන ම එම ගහනය අපට අහිමි වන්නට ඉඩක්‌ තිබිණි.

එසේ ම මින් පෙර ඉදි කිරීමට යෝජනා කර තිබූ විශාල පරිමාණයේ ජලාශය තැනුවේ නම් මේ ප්‍රදේශයේ පාරිසරික වශයෙන් මීට වඩා විශාල වෙනස්‌කම් සිදු වීමට ඉඩ තිබූ නිසා පොකුණක්‌ ලෙස හ`දුන්වන වර්තමාන ජලාශය ද පාරිසරික වශයෙන් යහපත් ජයග්‍රහණයකි.

ජනතාවට සිදු වන බලපෑම්

මේ ව්‍යාපෘතිය නිසා අවතැන් වන පිරිස්‌ හා ඒ හා සම්බන්ධ දේශපාලන හා සමාජයීය ගැටලු ද මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම සඳහා හේතු විය.

1994 පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවට අනුව නැවත පදිංචි කිරීමට සිදු වන්නේ පවුල් 432කි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන විට ජනාවාස නවයක පදිංචි ව සිටි පවුල් 497ක්‌ ස්‌ථාන හයක පමණ නැවත පදිංචි කර තිබේ. අතීතයේ මෙන් මේ 'සංවර්ධන අනාථයන්' ගේ ගැටලු අමතක කර ඔවුන් හුදකලා කොට දමා නොමැති අතර ඔවුන්ට අත්‍යවශ්‍ය (හා බොහෝ විට වඩා හොඳ තත්ත්වයේ) පහසුකම් සහිත නිවාස ද ලැබී තිබේ. ඔවුන් තම පරිසරයෙන් බොහෝ ඈත ප්‍රදේශයක නො ව තමන් වාසය කළ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවල ම නැවත පදිංචි කිරීම විශේෂයකි. වෙනත් යටිතල පහසුකම් ද සපයා දී තිබේ.

පෙර සඳහන් කර තිබූ පරිදි ඉදි කිරීමට නියමිත ව තිබූ කැලිඩෝනියා ජලාශය වැනි විශාල පරිමාණයේ ජලාශයක්‌ තැනුවේ නම් වැඩි පවුල් ප්‍රමාණයක්‌ අවතැන් වීමට ඉඩ තිබූ අතර ප්‍රදේශයේ පිහිටා තිබූ තේ වගාබිම් හා තවත් බොහෝ යටිතල පහසුකම් ද අහිමි වීමට ඉඩක්‌ පැවතිණි. එහෙත් වර්තමාන ජලාශයෙන් බරපතළ තත්ත්වයේ හානියක්‌ සිදු වී නැත.

විදුලිබල ජනනයේ වැදගත් පියවරක්‌

ජල විදුලිබලයේ ඇති අවශ්‍යතාව අපි මේ ලිපියේ මුලින් ම පෙන්වා දුනිමු. ඉහළ කොත්මලේ ඉදිකිරීමට නියමිත ව තිබූ බලාගාරයෙන් ගිගාවොට්‌ පැය 575ක්‌ නිෂ්පාදනය කරන්නට නියමිත ව තිබුණ ද, දැන් නිපදවනු ලබන්නේ ගිගාවොට්‌ පැය 409ක්‌ පමණකි. ඊට හේතුව පාරිසරික කරුණු පිළිබඳව සැලකිල්ලට ගැනීම නිසා සිදු කරන ලද වෙනස්‌කම් ය. පාරිසරික වශයෙන් ලැබී ඇති වාසි හා ප්‍රයෝජන සම`ග සංසන්දනය කර සැලකීමේ දී සාධාරණ බවක්‌ අපට නම් සිතේ.

රටේ විදුලි ජනනය ඉහළ නැංවීමට සිදු ව ඇති එක්‌ හේතුවක්‌ වන්නේ අපේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගොස්‌ තිබීම ය. පුරවැසියන් ලෙස අප අප ගේ පාරිසරික වගකීම් කෙතරම් දුරට ඉටු කර තිබේ ද යන්න පෙනෙන එක්‌ නිර්නායකයක්‌ වන්නේ බලශක්‌ති සංරක්‌ෂණයේ ලා අප දක්‌වන උනන්දුවයි. පාරිසරික කරුණු පිළිබඳ සැලකිල්ලක්‌ දක්‌වන පිරිස්‌ ලෙස අප අප ගේ ඒක පුද්ගල බලශක්‌ති පරිභෝජනය අඩු කිරීමට තවදුරටත් පියවර ගත යුතු බව අපේ හැ`ගීම ය. අපේ සම්පත් පරිභෝජනය තිරසාර විය යුතු ය.

මේ ව්‍යාපෘතියේ අතීතය දෙස සැලකිල්ලෙන් බැලීමේ දී අදාළ බලධාරීන් පරිසරය හා අවතැන් වන ජනතාව පිළිබඳව මුලසිට ම වැඩි සැලකිල්ලක්‌ දැක්‌වූයේ නම් ව්‍යාපෘතිය මීට වඩා කලින් ඉදි කර නිමා කළ හැකි ව තිබිණි. එසේ වූයේ නම් විදුලිබල මණ්‌ඩලය අද ලබන අතිවිශාල පාඩුව තරමක්‌ හෝ අඩු කරගැනීමට ද හැකියාව තිබිණි.

තිරසාර සංවර්ධනයක්‌ සඳහා අපේ රටට අවශ්‍ය ව ඇත්තේ මෙයයි. අවශ්‍ය ව ඇත්තේ පරිසර සංරක්‌ෂණය ද සිදු කරමින් අවශ්‍ය විදුලිබල ජනනය ද සිදුකිරීම ය. අවශ්‍ය වන්නේ වඩා තිරසර විස`දුමකට එළැඹීම ය. ඕනෑ ම සංවර්ධන කටයුත්තක්‌ සඳහා මෙය යොදාගත හැකි ය. පරිසර හා ජනතා හිතකාමී පියවර ගැනීම රටක සංවර්ධනයක්‌ සඳහා අත්‍යවශ්‍ය ය.

Thanks for,
www.vidusara.lk 

Saturday, August 18, 2012

ඊරෝස් පෘථිවිය අසලින් යයි

www.hetadina.blogspot.com/


ඊරෝස් පෘථිවිය අසලින් යයි


පේ සෞරග‍්‍රහ මණ්ඩලයේ, විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා ග‍්‍රහකය පසුගියදා පෘථිවිය අසලින්ම ගමන් කළා. බය වෙන්න දෙයක් නැහැ. ග‍්‍රහකයෙන් පෘථිවියට කිසිදු ආකාරයක අනතුරක් හෝ බලපෑමක් හෝ සිදුවුණේ නැහැ. ඒත් වසර ගණනාවකට පසුවයි මෙතරම් විශාල ග‍්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කළේ. ඒ නිසා තාරකා විද්‍යාඥයන්ට ඒක ඉතා වැදගත් සිදුවීමක් වුණා. මේ ග‍්‍රහකය තමයි ‘433 ඊරෝස්’. එහි විශාලත්වය ලන්ඩන් නගරය මෙන් 400 ගුණයක්. එය පෘථිවියට සැතපුම් මිලියන 16.6 ක් සමීප වුණා. මීට කලින් එය පෘථිවිය අසලින් ගමන් කළේ මීට අවුරුදු 37 කට කලින්. ඒ කියන්නේ 1975 වසරේදීයි. මෙය යලිත් පෘථිවිය අසලින් යෑමට නියමිතව ඇත්තේ 2056 වසරේදීයි. ඊරෝස්ට හිරු වටේ භ‍්‍රමනය වෙන්න දින 643 ක් ගත වෙනවා. එය සෑම පැය හයකටම සහ මිනිත්තු 16 කටම වතාවක් කැරකෙනවා. ග‍්‍රහකය සොයා ගනු ලැබුවේ 1898 දී ජර්මන් තාරකා විද්‍යාඥ ගුස්ටෝව් විට් සහ ප‍්‍රංශ විද්‍යාඥ ඔගස්ටී විසිනුයි.

Wednesday, August 15, 2012

අධිවේගී මාර්ග ජාලය සහ අධික්‍රියාකාරී ජාලකරණය


රිගණක ජාලකරණයේ දී දැනට ලොව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ක්‌ෂේත්‍රයක්‌ ලෙස අධි ක්‍රියාකාරී ජාලකරණය (High Performance Networking) හැඳින්විය හැකි ය. මීට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන තවත් එවැනි ක්‌ෂේත්‍රයක්‌ ලෙස අධි ක්‍රියාකාරී පරිගණනය (High Performance Computing) හැඳින්විය හැකි ය. මේ ක්‌ෂේත්‍රයන්හි වර්ධනය පිළිබඳව අප දරන අදහස්‌ අනුසාරයෙන් යම් සටහනක්‌ තැබීම මේ ලිපියේ අරමුණයි. මෙරට භාවිතයේ ඇති පරිගණක ජාලයන්හි තවමත් උච්ච ක්‍රියාකාරී ජාලකරණ ක්‌ෂේත්‍රයට අයත් තාක්‌ෂණය භාවිත නො වේ. ඊට හේතු වී ඇත්තේ මෙරටට එතරම් වේගවත් ක්‍රියාකාරිත්වයකින් යුක්‌ත පරිගණක ජාලයන්හි අවශ්‍යතාවක්‌ තවමත් පැනනැ`ගී නොමැති වීම ය. දේශීය පරිගණක ජාලයක්‌ සඳහා එවැනි අවශ්‍යතාවක්‌ පැන නැ`ගීමට අවම වශයෙන් තවත් වසර පහක්‌ වත් ගත විය හැකි බව අප ගේ අදහසයි. පරිගණක ජාලකරණය යන ක්‌ෂේත්‍රය බහුතර පිරිසකට ගෝචර නො වන බැවින් එහි දී භාවිත වන ඇතැම් සංකල්ප පැහැදිලි කර දීම සඳහා අපට මාර්ග ජාලකරණය පිළිබඳ සංකල්පය තරමක්‌ දුරට භාවිත කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ මෑතක්‌ වන තුරු ම අධිවේගී මාර්ගයන් භාවිත නො වී ය. මෑතක දී මෙරට පළමු අධිවේගී මාර්ගය ලෙස කොට්‌ටාව-ගාල්ල යා කෙරෙන අධිවේගී මාර්ගයක්‌ ඉදි විය. එම මාර්ගය විවෘත කිරීමට පෙර ගාලු පාර හරහා කොළඹ සිට ගාල්ලට යැමට සාමාන්‍යයෙන් පැය තුනක්‌ හතරක්‌ අතර කාලයක්‌ ගත විය. එනමුත් අද එම ගමන පැයකට ආසන්න කාලයක දී යැමට හැකි ය. මෙහි දී සිදු වී ඇත්තේ අප ගේ ගමනාගමනය පෙරට වඩා කිහිප ගුණයකින් වේගවත් වීමයි. බොහොමයක්‌ වාහනවල පැයකට කිලෝමීටර සියයකට වඩා වේගයෙන් යැමට හැකියාව කාලයක සිට ම තිබුණත්a එම වේගයෙන් ම නො නවත්වා දිගට ම ගමන් කළ හැකි මාර්ග ජාලයක්‌ මෙරට නො තිබිණි. අධිවේගී මාර්ගයන් ඉදි කිරීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ එම වාහානවල නවීන වේගයන්ට සරිලන මාර්ග ජාලයක්‌ තනා ගැනීමයි. අප මෙහි දී සැලකිය යුතු කරුණක්‌ වන්නේ අධිවේගී මාර්ගයක වාහන පැදවීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්‌වල පටන් ම යම් විශේෂ වෙනසක්‌ දැකිය හැකි බවයි. සරල උදාහරණයක්‌ ලෙස අධිවේගී මාර්ගයක දී සාමාන්‍ය මහා මාර්ගයන්හි මෙන් එහි අයිනේ වාහන නවතා තැබිය නො හැකි ය. තව ද පදිකයන්ට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට හෝ පාර හරහා මාරු වීමට හෝ නො හැකි ය. එනම් අධිවේගී මාර්ගයක ඇතැම් භාවිතයන් සාමාන්‍ය මහා මාර්ගයක භාවිතයක්‌ට වඩා විවිධාකාර අයුරින් වෙනස්‌ වේ. ඊට අමතරව මෙහි දී අපට හඳුනාගත හැකි තවත් වැදගත් කාරණයක්‌ වන්නේ අධිවේගී මාර්ගයක්‌ ඉදි කිරීමේ දී භාවිත කෙරෙන තාක්‌ෂණයේ සහ පරිපාලනයේ දී භාවිත කෙරෙන ක්‍රමවේදයන්හි ද පැහැදිලි වෙනසක්‌ තිsබෙන බවයි. අධිවේගී මාර්ගයක ගමනාගමනයේ දී සාමාන්‍ය මහා මාර්ගයකට වඩා ඉහළ වේගයෙන් නො නවත්වා ගමන් කළ හැකි නිසා ගමනට ගත වන කාලය බෙහෙවින් අඩු වේ. එහි දී වේගය වෙනස්‌ වන පරාසය සහ වේගය වෙනස්‌ වන අවස්‌ථාවන් අඩු මට්‌ටමක පවත්වා ගත හැකි ය. එය ගමනේ දී අඩු විචලතාවක්‌ පවත්වා ගැනීමක්‌ ලෙස හැඳින්විය හැකි ය. හුදු ඉහළ වේගයකින් ගමන් කිරීමට හැකි වීම පමණක්‌ නො ව අඩු විචලතාවකින් ගමන් කිරීමට හැකියාවක්‌ පැවතීම ද අධිවේගී මාර්ගයක ගමන් කරන වාහන සඳහා ඇති ප්‍රධාන වාසි දෙකක්‌ ලෙස හඳුනාගත හැකි. මෙහි දී ඉහළ වේගයකින් ගමන් කිරීමට හැකි වීමෙන් ගමනට ගත වන කාලය ඉතිරි වේ. තව ද විචලතාව අඩු වන ආකාරයෙන් ගමන් කිරීමට හැකි වීම නිසා පුරෝකථනය කළ හැකි (කලින් කීමට හැකි) නිශ්චිත කාලයක්‌ තුළ සැලසුම්සහගත ව අදාළ ගමන නිම කළ හැකි ය. ඊට අමතරව සමස්‌ත ගමනේ විචලතාව අඩු වීම නිසා ඉන්ධන පරිභෝජනය අඩු වීමෙන් ද වාසියක්‌ අත් වේ. ගමනේ විචලතාව අඩු වීමෙන් වාහනයේ ගමන් ගන්නා මගීන් ගේ ගමන් විඩාව ද අඩු වේ. මෙහි දී අධිවේගී මාර්ගයක්‌ භාවිතයෙන් කාලය ඉතිරි වීම, වඩාත් සැලසුම් සහගත කාලයක්‌ තුළ ගමනක්‌ යැමට හැකි වීම, ඉන්ධන ඉතිරිය, ගමනේ විඩාව අඩු වීම ආදි වාසි අත්දැකිය හැකි බව ඒ අනුව අපට වටහාගත හැකි ය.

මේ අධිවේගී මාර්ගයේ ඇති ගමනාගමනයේ දී විචලතාව අඩු ලක්‌ෂණය, දුම්රිය මාර්ග සහ පෙර කලෙක පැවති ට්‍රෑම් කාර් මාර්ග පද්ධතීන්හි ද අන්තර්ගත විය. එනමුත් එම මාර්ග පද්ධති භාවිත කෙරුණේ පොදු ප්‍රවාහන සේවා සඳහා පමණි. අධිවේගී මාර්ග ඉදි කිරීමෙන් පෞද්ගලික වාහන මෙන්ම පොදු ප්‍රවාහන වාහන සඳහා ද එලෙස ගමන් කිරීමට ඉඩ සැලසී ඇත. වර්තමාන දුම්රිය මාර්ගයන්හි ද ගමනාගමනයේ දී මහාමාර්ගයන්ට වඩා විචලතාව අඩු වුව ද, දුම්රිය ගමනාගමනයේ දී ගත වන කාලය තවමත් සම මට්‌ටමක ඇත්තේ තවමත් අවේගී දුම්රිය මාර්ග මෙරටට ඉදි වී නොමැති හෙයිනි. අධිවේගී දුම්රිය මාර්ග ඉදි කිරීමේ දී දුම්රිය ම`ගට හරස්‌ වන්නා වූ පාරවල් ම`ගහැරෙන පරිදි ඒවා ඉදි විය යුතු අතර, එම අධිවේගී දුම්රිය මාර්ගයන් ඉදි කෙරෙන තාක්‌ෂණයේ ද යම් වෙනස්‌කම් ඇත.

වාහන ගමනක විචලතාව අඩු වීමෙන් අප ඉහත සඳහන් කරන ලද පරිදි විවිධාකාර වාසි අත් වේ. එම වාසි ලබා ගැනීමට නම් ගමනේ විචලතාව අඩු වන පරිදි වාහන ගමන් කළ හැකි අධිවේගී මාර්ගයන් වැනි විශේෂ මාර්ග පද්ධතියක්‌ තිබිය යුතු ය. එනමුත් බොහොමයක්‌ මාර්ග තවමත් අධිවේගී මාර්ග නො වේ. එවැනි මාර්ග භාවිතයේ දී ද, ගමනේ විචලතාව වැඩි වුව ද, ඉහත සඳහන් විචලතාව අඩු අවස්‌ථාවන්හි දී ලැබෙන ඉන්ධන ඉතිරිය නම් වාසිය ලබා ගත හැකි පරිදි වර්තමාන වාහන නිෂ්පාදන තාක්‌ෂණය දියුණු වී ඇත. මෙකල අලුතෙන් භාවිතය බහුල වී ඇති දෙමුහුන් (Hybrid) වාහන නිපදවා ඇත්තේ අවේගී නො වන සාමාන්‍ය මාර්ගයන්හි දී ද ඉන්ධන ඉතිරි වන ආකාරයෙනි. එහි දී දෙමුහුන් වාහනයක්‌ අධිවේගී නො වන මාර්ගයක දී සාමාන්‍ය විචලතාවක්‌ සහිත ව ධාවනය වුව ද, තිරිංග යෙදීම, වේගය අඩු වැඩි කිරීම වැනි අවස්‌ථාවන්හි දී හානි වන ශක්‌තිය විදුලිය වශයෙන් ගබඩා කරගෙන නැවත එම ශක්‌තිය ද ධාවනයට යෙදවීම ආදී වශයෙන් විවිධාකාර තාක්‌ෂණික උපක්‍රම භාවිත කරනු ලැබේ. එලෙස දෙමුහුන් වාහන අධිවේගී නො වන මාර්ගයක දී සාමාන්‍ය විචලතාවක්‌ සහිත ව ධාවනය වුව ද ඉන්ධන ඉතිරි කර ගැනීමේ වාසිය ලබා ගැනීමට හැකි ය. එනමුත් දෙමුහුන් වාහනයක්‌ අධිවේගී මාර්ගයක දී භාවිතයේ දී නම් දෙමුහුන් නො වන වාහනයකට සාපේක්‌ෂව කැපී පෙනෙන පරිදි ඉන්ධන ඉතිරි කර ගැනීමට හැකියාවක්‌ නොමැත.

අප ඉහත සාකච්ඡා කළ පරිදි මාර්ග ජාලයක ගමනාගමනයේ දී සලකා බැලෙන වැදගත් ලක්‌ෂණ දෙකක්‌ වන්නේ අදාළ ගමන අඩු කාලයක දී නිම කළ හැකි වීමත්, එම ගමන අඩු විචලතාවක්‌ සහිතව නිම කළ හැකි වීමත් ය. එම ආකාරයට ම අධි ක්‍රියාකාරී පරිගණක ජාලයන් තැනීමේදීත් විශේෂයෙන් සලකා බැලෙන්නේ ද දත්ත අඩු කාලයකින් සම්ප්‍රේෂණය කිරීමට ඇති හැකියාවත්, අඩු විචලතාවකින් යුතු ව දත්ත ගොනු සම්ප්‍රේෂණය කිරීමට ඇති හැකියාවත් ය. මෙහි දී අධි ක්‍රියාකාරි පරිගණක ජාලකරණයේ දී ද මේ සඳහා විවිධ තාක්‌ෂණික උපක්‍රම භාවිත කරනු ලැබේ. ඉන් කිහිපයක්‌ අපට සාකච්ඡා කළ හැකි ය.

දත්ත සම්ප්‍රේෂණය කරන මාධ්‍ය සඳහා වේගවත් සම්ප්‍රේෂණ මාධ්‍යයන් යොදාගැනීම මූලික ම තාක්‌ෂණික උපක්‍රමයකි. උදාහරණයක්‌ ලෙස තඹ හා ලෝහ හරහා විද්යුත් චුම්බක තරංග ප්‍රචාලනය වන තාක්‌ෂණය වෙනුවට නූතන ප්‍රකාශ තන්තු තාක්‌ෂණික උපක්‍රම මගින් දත්ත සම්ප්‍රේෂණ ප්‍රමාදයන් අවම කර ගත හැකි ය.

දත්ත කෙතරම් ප්‍රමාණයක්‌ (පරිමාවක්‌) එකවර ඉහත ගුණයන් ද රැකෙන පරිදි සම්ප්‍රේෂණය කළ හැකි ද යන්න අදාළ වන්නේ සම්ප්‍රේෂණය කෙරෙන දත්තයන්හි ප්‍රමාණාත්මක සාධකයක්‌ ලෙස පමණි. එනමුත් දත්ත ගොනු කු=ඩා කොටස්‌ (පැකට්‌ටු) වශයෙන් කඩා සම්ප්‍රේෂණය සිදු කළ හැකි බැවින් මෙහි දී සම්ප්‍රේෂණ කාලය අඩු කරගැනීමට අදාළ පරිගණක ජාලයේ සම්බන්ධකයන් ගේ විශාලත්වය ද බලපාන බව හඳුනාගෙන ඇත. කිසියම් ජාලයක්‌ හරහා එකවර යෑවිය හැකි දත්ත ප්‍රමාණය වැඩි වන විට දත්ත කුඩා කොටස්‌ (පැකට්‌ටු) වශයෙන් කඩා සමාන්තරගත ව එක ම අවස්‌ථාවේ සම්ප්‍රේෂණය කළ හැකි බැවින් දත්ත පැකට්‌ටු එකක්‌ පසුපස එකක්‌ වශයෙන් ශේ්‍රණිගත ව යෑවීමට සිදු වීමෙන් වන ප්‍රමාදය වළකාගත හැකි ය. එමගින් දත්ත ශ්‍රේණිගත වීම නිසා ඇති විය හැකි ප්‍රමාදයන් අඩු වන බැවින් ජාලයක දත්ත ප්‍රවාහන පරිමාව (ධාරිතාව) විශාල වීමෙන් දත්ත අඩු කාලයකින් එකවර සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබේ. එම නිසා දත්ත සම්ප්‍රේෂණය කරන ජාලයක පරිමාව වැඩි කිරීම අධි ක්‍රියාකාරී ජාල තැනීමේ එක්‌ ප්‍රධාන තාක්‌ෂණික උපක්‍රමයකි. වර්තමානයේ තත්පරයට ගිගා බයිට්‌ 40 (40 Giga bits per second) සහ තත්පරයට ගිගා බිට්‌ 100 (100 Giga bits per second) වැනි ඉහළ වේගයකින් අධි ක්‍රීsයාකාරී ජාලකරණයේ දී භාවිතය ඇරඹී ඇත.

තව ද පරිගණකයන්හි මධ්‍යම සැකසුම් ඒකකය එමගින් කෙරෙන විවිධ කාර්යයන් සඳහා පොදුවේ භාවිත වන බැවින් ප්‍රධාන මතකයේ ඇති දත්තයන් පරිගණක ජාලයේ ඇති වෙනත් පරිගණක ජාලයක සිට පරිශීලනය කිරීමක දී ප්‍රධාන සැකසුම් ඒකකයන් භාවිතය සඳහා අවස්‌ථාවක්‌ ලැබෙන තුරු ප්‍රමාද වීමට සිදු වේ. මෙය සැලකිය යුතු කාලයක්‌ බැවින් ප්‍රධාන සැකසුම් ඒකකයෙන් ස්‌වායත්ත ව එම කාර්යය කරගත හැකි නම් ජාලය තුළ පරිගණකයන් අතර දත්ත පරිශීලනය කිරීමේ දී ගත වන කාලය ඉතිරි කරගැනීමෙන් මේ ප්‍රමාදය අවම කර ගත හැකි ය. මේ සඳහා දුරස්‌ථ සෘජු මතක ප්‍රවේශය (Remote Direct Memory Acess) නමැති තාක්‌ෂණික උපක්‍රමයක්‌ මෑතක දී භාවිතයට පැමිණ ඇත. ආසන්න උදාහරණයක්‌ ලෙස, මේ ක්‍රමය එක්‌ පුද්ගලයකු ගේ මතකයේ ඇති තොරතුරක්‌ තවත් අයකු විසින් ඔහු ගේ උඩු සිතට නො දැනෙන පරිදි පරිශීලනය කිරීමක්‌ වැනි ය.

මෙලෙස විවිධාකාර උපක්‍රම භාවිතයෙන් අධි ක්‍රියාකාරී ජාලකරණය මගින් සිදු කෙරෙන්නේ වඩාත් වේගවත් ව සහ පුරෝකථනය කළ හැකි පරිද්දෙන් දත්ත සම්ප්‍රේෂණය කිරීමට හැකියාවක්‌ ඇති පරිගණක ජාලයන් නිර්මාණය කිරීමයි. මේ අධි ක්‍රියාකාරී පරිගණක ජාලයන්හි ක්‍රියාත්මකභාවය නිවැරැදි ව පුරෝකථනය කිරීමට නම් ඊට සරිලන පරිදි මැනීමට අදාළ ක්‍රමවේදයන් ද නිර්මාණය කරගත යුතු ය. එහි දී නැනෝ තත්පර (තත්පරයෙන් 10-9) පරිමාණයේ මැනීම් ක්‍රම මෙකල අධි ක්‍රියාකාරී ජාලකරණයේ දී භාවිත වේ. මෙහි දී පුරෝකථනය සහ මැනීම යන ඒවා අපරදිග නිර්මාණය වන තාක්‌ෂණයේ අනිවාර්ය සහ එකිනෙක බැඳුණු පොදු අංගයන් දෙකක්‌ බව අපට බොහෝ විට හඳුනාගත හැකි ය.

මෙලෙස අප අවබෝධ කරගත යුත්තේ නූතන තාක්‌ෂණයේ වර්ධනයත් සම`ග ලෝකයේ ක්‍රියාකාරකම් පෙරට වඩා වේගවත් ව සහ පුරෝකථනය කළ හැකි ආකාරයෙන් සිදු කිරීමට උත්සාහයක්‌ දැරෙන බවයි. එමගින් එහි නිර්මාපකයන් බලාපොරොත්තු වන්නේ මෙලොව ලෞකික ජීවිතය පෙරට වඩා සැපවත් කිරීම විය හැකි ය. එනමුත් බහුතරයක්‌ ලාංකිකයන්ට නම් මෙලොව ජීවිතය ගැන පමණක්‌ සලකා ක්‍රියා කිරීම අපහසු ය. ඔවුන් ක්‍රියාත්මක වන්නේ සමස්‌ත සංසාරය ම සලකාගෙන සහ එම සසර ගමනින් පවා මිදීමක්‌ අරමුණු කරගෙන ය. සමස්‌ත සංසාරය ගැන ම සලකා ක්‍රියාත්මක වන අය මෙලොව ලෞකික සැපය පමණක්‌ අරමුණ කරගෙන ක්‍රියාත්මක නො වීමෙන් පෙනී යන්නේ ඔවුන් ගේ චින්තනයට අදාළ වපසරිය පුළුල් බවයි. එනමුත් වර්තමාන ලෝකයේ නූතනත්ව දියුණුව ප්‍රධාන වශයෙන් ම සිදු වන්නේ මෙලොව ජීවීතය පමණක්‌ අරමුණු කෙරන පටු වපසරියකට අදාළ ව ය. මෙලොව වශයෙන් සැපවත් වීම පමණක්‌ ප්‍රමාණවත් යෑයි සිතා කටයුතු කෙරෙන මිනිසුන් ගේ මරණින් මතු ජීවිතය ගැන ප්‍රඥවන්තයන්ට යම් තරමක අනුමානයක්‌ කළ හැකි ය. එබැවින් අප තාක්‌ෂණය හෝ වෙනත් කවර දෙයක්‌ වුවත් අනුගමනය කළත්, අවශෝෂණය කළත්, නිර්මාණය කළත් එය සිදු කිරීමට උත්සාහ ගත යුත්තේ මෙලොවත් පරලොවත් යන සමස්‌ත සංසාරය ම හෝ සංසංරයෙන් මිදීමට එහි බලපෑම ආදිය සලකාගෙන ය.


www.vidusara.lk ඇසුරිණි

Monday, August 13, 2012

අඟහරු මත ජීවය පැවතීමට ඇති ඉඩකඩ

අඟහරු මත ජීවය පැවතීමට ඇති ඉඩකඩ
මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ විග්‍රහ කරයි

ලොව සියලු ම දෙනා කුතුහලයෙන් අළලමින් හා අභ්‍යවකාශ ඉතිහාසයේ සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරවමින් ගමනේ යෙදුණු 'කුතුහලයේ යානය' සිය ගමනාන්තය කරා ළඟා වී ඇත. එනම් නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කෙරුණු අති නවීනතම පර්යේෂණ රොබෝව කියුරියොසිටි රෝවරය (Curiosity Rover) අගෝස්‌තු මස හය වැනි දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ. ව. 11ට පමණ අඟහරු ග්‍රහයා වෙත ළඟා විය.

අභ්‍යවකාශ ඉතිහාසයේ වෙනත් ග්‍රහලෝකයක්‌ වෙත මෙතෙක්‌ යෑවුණු විශාලතම වූ ද, විශාලතම ධනස්‌කන්ධයක්‌ වැය කොට ඉදි කෙරුණා වූ ද පර්යේෂණ රොබෝව සතු ව ඉලක්‌ක කිහිපයක්‌ වේ.

අඟහරු ග්‍රහයා ගේ දේශගුණික හා භූගෝලීය තත්ත්වයන් වැඩිදුර හැදැරීම, අනාගතයේ දී මිනිසකු යෑවීම සඳහා ඇති හැකියාවන් පිරික්‌සීම හා මාධ්‍ය ම`ගින් වාර්තා වී ඇති පරිදි ජීවය ඇති දැයි සොයා බැලීම හැරුණු විට අපේ එනම් පෘථිවියේ පාරම්පරික වංශ කථාවේ අක්‌ මුල් සොයා යැම ද මේ අතරින් ප්‍රධාන කොට සැලකිය හැකි ය.

අප දන්නා තරමින් කවර ම දාක හෝ මිනිසකු ගොඩ නො බට අඟහරු ග්‍රහයා වෙත ගොස්‌, පාරම්පරික වතගොත සොයනු කෙසේ දැයි දැන් ඔබට සිතෙන්නට බැරි නැත. එසේ සිතුව ද වැරැදි නැත. මන්ද පාසලේ දී පෘථිවිය මත ජීවයේ සම්භවය ඉගෙන ගනිද්දී අප හුදෙක්‌ උගත්තේ ඩාවින් ගේ පරිණාමවාදයයි. එනම් මින් වසර බිලියන හතරකට ඉහත ඈත එපිට දවසක පෘථිවියේ කොහේ හෝ පුංචි 'උණුසුම් දිය පොකුණක' තිබුණු රසායන අණු අතර අහම්බයක්‌ ව සිදු වුණු ප්‍රතික්‍රියාවලියකින් ජීවය ඇති වුණු බවයි.

එහෙත් ලොව පිළිගැනුණ මේ මතයෙන් බැහැර ව පෘථිවිය මත ජීවය ඇති වීම සම්බන්ධව අභියෝගාත්මක නව මතයක්‌ සාපේක්‌ෂව මෑතක දී පහළ විය.

පෑන්ස්‌පර්මියා (Panspermia) නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන මේ මතයට අනුව පෘථිවියට ජීවය ලැබුණේ අභ්‍යවකාශයෙනි. නැත හොත් පිටසක්‌වළෙනි.

පිටසක්‌වළින් ජීවය ලැබුණු බවට කෙරුණු මේ මතය සැලකිය යුතු කාලයක්‌ පුරා විවාදාත්මකව පැවතුණක්‌ වන අතර 1970 දශකයේ මුල් අවධියේ දී සුප්‍රකට තාරකා විද්‍යාඥයන් දෙපළක්‌ වන බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ෆෙඩ්රික්‌ හොයිල් සහ ශ්‍රී ලාංකික මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් විසින් සිදු කරනු ලැබූ දහසකුත් එකක්‌ නිරීක්‌ෂණයන්, පර්යේෂණයන් හා විග්‍රහ කිරීම් මෙම මතය ශක්‌තිමත් කරන්නට ඉමහත් දායකත්වයක්‌ සපයා දුනි.

පසුගිය වසර බිලියන හතරක කාලාන්තරයක්‌ ඇතුළත ජීවය පරිණාමයකට ලක්‌ විය හැකි බව පිළිගන්නා නමුදු ඔවුන් කියා සිටින්නේ අද පවත්නා උසස්‌ ජාන සැලසුම්කරණයකින් යුක්‌ත වූ ජීවය හුදෙක්‌ අහම්බයක්‌ ව, ඒක සෛලිකව ඇති වුණු ජීව ආකාරයකින් බිහි වූවක්‌ බව පැවසීම නම් අසීරු බව ය.

එසේ ම ශ්‍රීමත් හොයිල් සහ මහාචාර්ය වික්‍රමසිංහයන් විසින් 1970 දශකයේ දී කරන ලද යෝජනාවලින් අයිස්‌ හා ජලයෙන් සුසැදි වල්ගාතරු ම`ගින් නිරන්තරයෙන් ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය අභ්‍යවකාශය හරහා ප්‍රවාහනය කෙරෙන බව අවධාණය වී ඇත. මේ අනුව මහාචාර්ය වික්‍රමසිංහයන් කියා සිටින්නේ පළමුවෙන් ම ජීවය පිටසක්‌වළින් පෘථිවිය වෙත පැමිණියේ නම්, එලෙස ම අපේ සෞරග්‍රහ මණ්‌ඩලයේ වෙනත් ග්‍රහලෝක කරා ද, වෙනත් සෞරග්‍රහ මණ්‌ඩලවලට අයත් ග්‍රහලෝක කරා ද, වෙනත් චක්‍රාවාට (Galaxy) කරා ද මේ ජීවය ව්‍යාප්ත ව තිබීමේ හැකියාව බැහැර කළ නොහැක්‌කක්‌ බවය.

මේ අනුව අභ්‍යවකාශ ඉතිහාසයේ මෙතෙක්‌ විසඳාගත නොහැකි ව තිබුණු ප්‍රහේලිකාවක්‌ විසඳීමට කියුරියොසිටි පර්යේෂණ රොබෝව සමත් වේ ද? මෙවිසින් විසඳෙනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි දේවලට ඇති පදනම කුමක්‌ දැයි කිසිවකු ගේ සිතක කුතුහලයක්‌ ඇති වන්නේ නම් එය අසාධාරණ නැත.

එහෙයින් අභ්‍යවකාශ ජීව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් මෙදෙස බලා සිදු කළ හැකි විචාරය විමසා බලනු වස්‌ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් හමු වීමට තීරණය කළෙමු. මහාචාර්ය වික්‍රමසිංහ දැනට එක්‌සත් රාජධානියේ බකිංහැම් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත අභ්‍යවකාශ ජීව විද්‍යාව (Astrobiology) පිළිබඳ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ධුරය හොබවයි.

ප්‍රශ්නය (- මහාචාර්යතුමනි, පළමුවෙන් ම පෘථිවියේ ඇති ජීවය පිටසක්‌වළින් ආ බවට කෙරී ඇති යෝජනාවට ඇති පදනම කුමක්‌ දැයි විස්‌තර කළ හැකි ද?

පිළිsතුර (- මීට වසර බිලියන හතරකට ඉහත දී වල්ගාතරු වැස්‌සක්‌ පෘථිවිය මත පතිත වූ බව ද, ඒ වල්ගා තරු වර්ෂාවත් සමඟ පොළොවට පතනය වූ ජලය මඟින් පෘථිවිය මත සාගර ඇති වූ බව ද, ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය පෘථිවිය මත ඇති වූයේ මේ වකවානුවේ ම බව ද භූ ගර්භ රසායන විද්‍යා අධ්‍යයනවලින් පෙනී ගොස්‌ තිබෙනවා.

එම වල්ගාතරු වර්ෂාව අභ්‍යවකාශයේ සිදු වුණු අවස්‌ථාවේ දී ම එම ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය අපේ පෘථිවිය හැරුණු විට අපේ සෞරග්‍රහ මණ්‌ඩලයට අයත් අන් ග්‍රහලෝක කරා ද ගමන් කළා විය හැකියි. නමුත් එම ග්‍රහලෝකවල ජීවය පැවතීමේ හිතකර තත්ත්ව නො තිබුණා නම් එලෙස ඇතුළු වුණු ජීවය මිය යන්නට ඇතැයි සිතිය හැකියි.

කෙසේ වුවත් එසේ ඇතුළු වුණු ජීවය කිසියම් ආකාරයක පැවැත්මකට ලක්‌ වූයේ නම් අපේ සෞරග්‍රහ මණ්‌ඩලයේ අන් සියලු ම ග්‍රහලෝක අතරින් ඒ සඳහා සුදුසු ම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නට හැකි වන්නේ අඟහරු ග්‍රහයායි.

ප්‍රශ්නය (- පසුගිය කාලයේ දී බොහෝ බුද්ධිමත් ජීව ආකාර අඟහරු තුළ ජීවත් විය හැකි බවට විශ්වාස කෙරුණා නේ ද?

පිළිතුර (- ඔව්, මෙවන් අනුමාන කිරීම්වලට හේතු වූයේ මීට සියවසකට පමණ ඉහත ගත් ඡායාරූපවලින් පෙන්නුම් කළ දේ. උදාහරණයක්‌ ලෙස එම ඡායාරූපවලින් පෙන්නුම් කළ අඳුරු පැහැති කොටස්‌ තුරුලතා නියෝජනය කරන බවටත්, ඒ හැරුණු විට ඇළ මාර්ග පද්ධතීන් පෙන්නුම් කෙරෙන බවටත් මත ඉදිරිපත් කෙරුණා. නමුත්, වර්ෂ 1962-1973 කාලවකවානුව ඇතුළත දී තාක්‌ෂණයෙන් වඩාත් දියුණු මැරිනර් (Mariner) පර්යේෂණ යානාව විසින් ගන්නා ලද ඡායාරූප, අඟහරු මත ඇතැයි සිතූ තුරුලතා හා ඇළ මාර්ග පද්ධතීන් පිළිබඳ යෝජනා ප්‍රතික්‌ෂේප කරමින් අඟහරු ගේ මතුපිට පෘෂ්ඨය ආවාට (Craters)වලින් ආවරණය වී ඇති බව ද, ගිනිකඳුවල ක්‍රියාකාරකම් බහුල අඟහරු මත නිරන්තරයෙන් දූවිලි කුණාටු ඇති බව ද සනාථ කළා. මේ අනුව අභ්‍යවකාශ විද්‍යාඥයන් ගේ සිත් තුළ අඟහරු මත බුද්ධි මට්‌ටමෙන් බොහෝ ඉහළ තත්ත්වයක සිටින ජීව ආකාර පිළිබඳ සිහිනය බොඳ වී ගිය නමුත් කිසියම් ආකාරයක ජීවයක්‌ නො තිබිය හැකි නො වේ ය යන බලාපොරොත්තුව උපදින්නට වුණා. එනම් බැක්‌ටීරීයා, ඇල්ගී හා දිලීර ආකාරයේ ජීවයක්‌ පිළිබඳ බලාපොරොත්තු ඇති වුණා.

ප්‍රශ්නය (- එසේ නම් ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය පැවතීමට සුදුසු හිතකර තත්ත්වයන් අඟහරු ග්‍රහයා සතු ද?

පිළිතුර (- අඟහරු ගේ වායුගෝලය 95%ක්‌ කාබන් ඩයොක්‌සයිඩ්, 3%ක්‌ ආගන්, 1.5%ක්‌ නයිට්‍රජන්, 0.15%ක්‌ ඔක්‌සිජන් යන වායුන්වලින් ද, සුළු ප්‍රමාණයක්‌ ජලයෙන් ද සමන්විත වනවා. සමස්‌තයක්‌ වශයෙන් මතුපිට වායුගෝලීය පීඩනය පෘථිවියේ මතුපිට වායුගෝලීය පීඩනයෙන් සියයට එකක්‌ පමණ වීම හේතුවෙන් අඟහරු සතු ව ඇත්තේ බොහෝ ම තුනී වායුගෝලයක්‌. මේ නිසා විකිරණවලින් අඟහරු ලබන ආරක්‌ෂාව බොහෝ ම දුර්වලයි. මේ අනුව ජීවයක පැවැත්ම උදෙසා පැවතිය යුතු භෞතික හා පාරිසරික සාධක අඟහරු මත සීමා සහිත බවකුයි පෙනී යන්නේ. නමුත් බොහෝ ගැඹුරු සාගර පතුල, සල්ෆියුරික්‌ අම්ලයෙන් ඉතා පොහොසත් උල්පත්, අධි ලවණ සාන්ද්‍රණයෙන් යුතු මළ මුහුද, ඇන්ටාටිකාවේ වියළි නිම්නයන් හා විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්‌ථාන ආදී පෘථිවිය මත ක්‌ෂුද්‍රජීවී පැවැත්ම සනාථ වී ඇති ස්‌ථාන සලකා බැලෙන කළ අඟහරු මත දැඩි සූර්ය විකිරණවලට එක එල්ලේ ම නිරාවරණය නො වන ආවරණිත ස්‌ථානවල ක්ෂුද්‍ර ආකාරයේ ජීවය හමු වීමේ ඉහළ හැකියාවක්‌ පවතින බව කිව හැකියි.

ප්‍රශ්නය (- අඟහරු වෙත මෙතෙක්‌ යෑවුණු පර්යේෂණ යානා ම`ගින් ජීවය ඇති බවට සනාථ වී නැති ද?

පිළිතුර (- වර්ෂ 1976 දී අඟහරු වෙත යෑවුණු වයිකිං 1 හා 2 (Viking) යානාවල ප්‍රධාන ඉලක්‌කය වූයේ අඟහරු මත ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය පිළිබඳ පරීක්‌ෂා කිරීමයි. අඟහරු ගෙන් ලබා ගැනුණු පස්‌ නියෑදි එහි දී ම පරීක්‌ෂා කිරීම සඳහා අවශ්‍ය අංගෝපාංගවලින් වයිකිං ආම්පන්න ව සිටි අතර අනුමානය වූයේ අඟහරු මත වසන කිසියම් ක්‌ෂුද්‍ර ජීවී ආකාරයක්‌ සිටී නම් ඔවුන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලි පෘථිවිවාසී ක්‌ෂුද්‍රජීවීන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලිවලට ම සමාන වේ ය යන්නයි. මේ අනුව එම පස්‌ නියෑදි විවිධාකාර වූ රසායනික පරීක්‌ෂාවලට ලක්‌ කෙරුණු අතර පරීක්‌ෂණවලින් බලාපොරොත්තු වූ ආකාරයට ම අඟහරු පස කාබන් ඩයොක්‌සයිඩ් පිට කළා. නමුත් පරීක්ෂණවලින් පසුව එම පස්‌ නියෑදිවල දකින්නට බලාපොරොත්තු වූ කාබනික ද්‍රව්‍ය නම් දකින්නට තිබුණේ නැහැ.

මේ අනුව දැක ගත හැකි වූ කාබන්ඩයොක්‌සයිඩ් වායුවට හේතුව ලෙස නිගමනය වූයේ බලාපොරොත්තු වූ සාමාන්‍ය ජීව ක්‍රියාවලියෙන් බැහැර වූ වෙනත් හේතුවක්‌ නිසා එය සිදු වූ බවයි. එනම් අඟහරු පස, පෘථිවි පසට වඩා වෙනස්‌ වූ 'සුපිරි ආකාරයේ ඔක්‌සිකාරකයක්‌' (Superoxidant) බවත්, මේ අනුව අඟහරු මත ජීවය ඇති ද යන්න සහතික වශයෙන් කිව නොහැකි බවත් නාසා ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා. නමුත් වර්ෂ 1986 දී නැවත විමසා බැලුණු වයිකිං දත්තවල ද, තවදුරටත් කෙරුණු රසායනාගාර පර්යේෂණවල ද එකතුව විසින් පළමුව කළ නිගමනය වෙනස්‌ කර අඟහරු මත ප්‍රාථමික ආකාරයේ ජීවය ඇති බව ප්‍රකාශ කෙරුණා. තවදුරටත්, මේ ප්‍රාථමික ආකාරයේ ජීව ආකාරවල පැවැත්ම වඩාත් ම බලාපොරොත්තු විය හැක්‌කේ අඟහරු ගේ මතුපිට පෘෂ්ඨයට වහා ම යටින් පිහිටා ඇති නෙරීම් තුළ විය හැකි බවත් ප්‍රකාශ වුණා.

මෙලෙස, නිගමනය පසුව වෙනස්‌ වීමට හේතුව ලෙස දැක්‌වූයේ වර්ෂ 1976 වන තුරු ඇන්ටාක්‌ටිකාවේ වියළි නිම්නවලින් සොයාගැනුණ බැක්‌ටීරියා වයිකිං තුළ කෙරුණු ආකාරයේ ම පර්යේෂණවලට භාජන කර නො තිබීමයි. එසේ කෙරුණු කල ලැබුණු ප්‍රතිඵල අඟහරු පස පරීක්‌ෂා කිරීමෙන් ලද ප්‍රතිඵලවලට අතිශයින් ම සමාන වුණා.

ප්‍රශ්නය (- එසේ නම් නාසා ආයතනය අඟහරු මත ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය ඇති බවට එදා ලැබුණු සාක්‌ෂි කිසියම් වසන් කිරීමකට ලක්‌ කර තිබෙනවා ද?

පිළිතුර (- ඔව්. එක්‌තරා ආකාරයකට. වයිකිං ව්‍යාපෘතියේ ප්‍රධාන ගවේශක ගිල් ලෙවින් (Gil Levin) අදටත් කියා සිටින්නේ ක්‍රියාකාරී ජීවය අඟහරු මත පවතින බවට එදා ලැබුණු සාක්‌ෂි ඉතා ම අවාසනාවන්ත ලෙස බැහැර කෙරුණු බවයි. ඒ වගේ ම අද දක්‌වා ම අඟහරු වෙත යෑවුණු පර්යේෂණ යානා එකක හෝ අඟහරු මත ජීවය හඳුනා ගැනීමේ පර්යේෂණ සෘජු ව ම ඇතුළත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් වර්ෂ 1976න් පසුව අඟහරු වෙත යෑවුණු පර්යේෂණ යානාවලින් කෙරුණු පර්යේෂණ මඟින් අඟහරු ගේ මතුපිට පෘෂ්ඨයට යටින් ජලය ඇති බවටත්, වියෑළුණු ගංගා ඇති බවටත්, වායුගෝලයේ ඉහළ කලාපයේ මීතේන් ඇති බවටත් නැත හොත් මේ සියල්ලේ ම එකතුව යනු අඟහරු මත තවමත් ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය පැවතිය හැකි බවටත් නිගමනය වී තිබෙනවා.

ප්‍රශ්නය (- මෑතක දී පොළොවට කඩා වැටුණු උල්කාෂ්මයක්‌ (meteorite) ම`ගින් අඟහරු මත ජීවය ඇති බව තහවුරු වුණා නේ ද?

පිළිතුර (- ඔව්. පසුගිය වසරේ ජූලි 18 වැනි දා මොරොක්‌කෝවේ කාන්තාරයකට උල්කාෂ්මයක්‌ කඩා වැටුණා. මොරොක්‌කෝවේ ටිසින්ට්‌ (Tissint) නමැති ගම්මානය අසලට කඩා වැටීම නිසා එය හඳුන්වනු ලැබුවේ ටිසින්ට්‌ උල්කාෂ්මය (Tissint meteorite)) නමින්. එය ග්‍රහකයක්‌ (Asteroid) හෝ වල්ගාතරුවක්‌ (Comet) වැදීම නිසා වසර මිලියන ගණනාවකට ඉහත අඟහරු ගෙන් ගැලවී ගිය පාෂාණ කැබැල්ලක්‌. එම පාෂාණ කැබැල්ල පසුගිය දා මවිසින් මෙහෙයවනු ලැබූ පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් පර්යේෂණයට ලක්‌ කළා. එහි දී එම පාෂාණ කැබැල්ලේ ක්‌ෂුද්‍ර ආකාරයේ ජීවය ඇති බවට සාක්‌ෂි පෙන්නුම් වුණා. එය පොළොවට පතනය වු වහා ම අහුලාගත් බැවින් පෘථිවියට වැටුණු පසු ඒ තුළට ක්‌ෂුද්‍ර ජීවීන් ඇතුළු වූවා ද යන සැකය ද බැහැර කරන්නට පුළුවන්.

ප්‍රශ්නය (- හොඳයි. කියුරියොසිටි රෝවරය ම`ගින් ක්‌ෂුද්‍ර ආකාරයේ හෝ කිසියම් ආකාරයක ජීවය සොයා ගැනුණ හොත්, එම ජීවය කෙතරම්

පැරැණි දැයි කීමේ හැකියාවක්‌ කියුරියොසිටි රෝවරය සතු ව පවතිනවා ද?

පිළිතුර (- අවාසනාවකට මෙන් නැහැ. කියුරියොසිටි රෝවරය සතු ව ජීව ආකාර සෘජු ව ම හඳුනා ගැනීමේ සෘජු ගවේෂණ හෝ පර්යේෂණ පහසුකම් නැහැ.

නමුත්, අඟහරු පසෙහි සිදු කරනු ලබන රසායනික පර්යේෂණවල ප්‍රතිඵල විග්‍රහ කිරීම් තුළින් අතීතයේ ජීවය පැවතුණා නම් වක්‍රාකාරව ඒ බවට සාක්‌ෂි සොයා ගන්නට පුළුවන්.

ඒ වගේ ම ටිසින්ට්‌ උල්කාෂ්මයේ හෝ ALH 84001 යනුවෙන් නම් කරනු ලැබූ උල්කාෂ්මයේ හමු වූවාක්‌ වැනි ෆොසිල ආකාරයෙන් වන පුරාතන ක්‌ෂුද්‍ර ජීවී ආකාර ඇති බවට සාක්‌ෂි අඟහරු ගේ පාෂාණ අතර හෝ ගල් යට හමු විය හැකියි. නමුත්, කියුරියොසිටි රෝවරය වයිකිං තරමට ම අඟහරු මත ජීවය සොයා ගැනීම සඳහා ම සෘජු ව ම වෙන් වූවක්‌ නො වෙයි.

ප්‍රශ්නය (- නමුත් අඟහරු මත ජීවය සෙවීම කියුරියොසිටි රෝවරය සතු ප්‍රධාන ඉලක්‌කයක්‌ ලෙස නේ ද ප්‍රචාරය වී තිබෙන්නේ?

පිළිතුර (- ඔව්. මේ වන විට ලොවේ ම කුතුහලය, අවධානය ඇද ගැනීමට කියුරියොසිටි රෝවරය සමත් වී තිබෙනවා. කියුරියොසිටි රෝවර පර්යේෂණ රෝබෝවේ ප්‍රධාන ඉලක්‌කය වන්නේ අඟහරු ගේ දේශගුණය හා පාෂාණ පරීක්‌ෂා කිරීම යෑයි පැවසුවේ නම් මේ තරම් මහජන අවධානයක්‌ ලැබේ යෑයි මා හිතන්නේ නැහැ.

එක්‌සත් රාජධානියේ බකිංහැම් තාරකා ජීව විද්‍යා (Astrobiology) මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ, බකිංහැම් විශ්වවිද්‍යාලයයේ සහ කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය

චන්ද්‍ර වික්‍රමසිංහ
මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරිනි.
මදාරා සරසි ද සිල්වා