Thursday, January 2, 2014

LED නාම පුවරු POWER SUPPLY ගෙදරම හදමු.

   LED නාම පුවරු නිෂ්පාදනයේදී තවත් වැඩි පුර කතා බහට ලක්වෙන මාතෘකාවක් වන්නේ බල සැපයුම් පරිපථයයි.නාම පුවරුවේ මොඩියුල හා CONTROLLER එක ක්‍රියාත්මක වීමට සුමටනය කල ස්ථාවර 5V විදුලි සැපයුමක් අවශ්‍ය වෙනවා.ඒකට සාමාන්‍යයෙන් යොදා ගන්නේ SMP බල සැපයුමක්.ඒ කියන්නේ සුවිචින් මෝඩ් වර්ගයේ එකක්.එය ට්‍රාන්සිස්ටර් හා IC ඇති සංකීර්ණ පරිපථයක්.එහි මිල ඉහල මට්ටමක තමයි තියෙන්නේ..ඇම්පියර් 20 ක SMP බල සැපයුම් යුනිට් එකක් වසරක වගකීමකුත් එක්ක පිටකොටුවේ නම් රු.2000.00 ක් වෙනවා.ඉතින් LED නාම පුවරු හදන්න පටන් ගන්න අයට ඉහල මිලක් දීලා මේවා මිලදී ගන්න එක තරමක ගැටලුවක්.ඔන්න මම අද ඔබව එම ගැටළු වෙනුත් නිදහස් කරනවා..මම අත්හදා බලා හොයා ගත්තා ඉතා සරලම බල සැපයුම් ඒකකය මේ සඳහා යොදා ගන්න පුළුවන් කියලා.හැබැයි මේක අත්හදා බැලීමට පමණක් වඩා හොඳයි කියලා මට හිතෙන්නේ.දවස පුරාම ක්‍රියාත්මක වන විදිහට මේක දානවනම් තව ටිකක් පරිපථය දියුණු කරන්න ඕනා..ඒ ටික පස්සේ කියන්නම්..එකියුවේ.වැඩි මොඩියුල ගණනක් දාලා ලොකු පුවරුවකට අඩු වියදම් බල සැපයුමක් හදන හැටි.
පරිපථයට අවශ්‍ය උපකරණ.
1.6V 0 6V/1A/full wave ට්‍රාන්ස්ෆෝමර් එකක්.
2.7805 රෙගියුලේටර් IC එකක්.
3.1N 4007 ඩයෝඩ් 2ක්
4.4700 uf/9v කන්ඩෙන්සර් එකක්.
5.2x1 ප්‍රමාණයේ ඇලුමිනියම් බොක්ස් බාර් අඟල් 2 ක කැබැල්ලක්.
6.වයර් කැබලි කීපයක්.
7.අඟල් 2x2 ප්‍රමාණයේ වෙරෝ බෝඩ් කැබැල්ලක්.

             මුලින්ම වෙරෝ බෝර්ඩ් කැබැල්ලේ පරිපථය එකලස්‌ කර ගන්න.7805 IC එකේ පාද මතක ඇතිනේ.එකේ ඉදිරි මුහුණත තමන් ගේ පැත්තට ඇල්ලුවාම වම් අත  පැත්තේ අග්‍රය ඉන්පුට් එක.මැද එක ඝෘන අග්‍රය.දකුණු පස එක අවුට් පුට් එක.ඒකෙන් තමයි 5V පිට වෙන්නේ.7805 IC එකේ ඉන්පුට් එකට 7V වලට වඩා දෙන්න එපා.7805 IC එක මගින් ඒකට ලැබෙන වෝල්ටීයතාවය ස්ථාවර 5V බවට පත්කරනවා.එය ක්‍රියාත්මක වනවිට එහි තාපය ජණනය වන නිසා හීට් සින්ක් අනිවාර්යයෙන් යෙදිය යුතයි.නැතිනම් ටික වෙලාවකින් එය දැවී යාවි.එමෙන්ම 7805 හීට් සින්ක් එකට සවිකරන විට හීට් සින්ක් කම්පවුන්ඩ් ස්වල්පයක් එහි පිට පැත්තේ ආලේප කිරීමටත් අමතක කරන්න එපා.
                    සියලුම කොටස් සවිකරලා මල්ටිමිටරයක් අදාරයෙන් එහි වෝල්ටීයතාවය පරික්ෂා කර බලන්න.නිවැරදි වෝල්ට් 5 ලැබේ නම් පරිපතයට සවිකරන්න.එක මොඩියුලක් සඳහා නම් මේ සකස් කල පරිපථය ගැලපෙනවා.තවත් මොඩියුල දානවා නම් මිට වඩා වැඩි ඇම්පියර් ගණනක් ඇති ට්‍රාන්ස්ෆෝමරයක් හා සමානන්තර ගත ලෙස සකස් කල 7805 IC යොදා ගත හැකියි.එමෙන්ම විශාල හීට් සින්ක් යෙදිය යුතු වෙනවා.හීට් සින්ක් ඉවතලන පරිගණක හා රුපවාහිනි යන්ත්‍රර වල පරිපත කොටස් වලින් ද ගලවා ගත හැකියි.හැබැයි තව ඔබට මෙහි වාසියක් තියෙනවා.ඔබ සකස් කල පරිපථයේ 7805 IC වල හීට් සින්ක් ලෙස ඔබේ LED නාම පුවරුවේ ඇලුමිනියම් රාමුවම යොදා ගත හැකියි.එය ක්‍රමවත් ලෙස රාමුව තුල සවි කල යුතුයි.එවිට ඔ‍බට හීට් සින්ක් ගැටලුවත් විසදෙනවා.
                       මෙම පරිපථය සකස් කිරීමට යම තරමක ඉලෙක්ට්‍රොනික් දැනුමක් අවශ්‍ය වෙනවා.ඔබට එය කල නොහැකිනම් මෙම උපකරණ ටික කඩෙන් අරගෙන TV RADIO රෙපයාර් කරන තැනකට දීලා සුළු මුදලකට එය එකලස්‌ කරගන්න.ලංකාවේ ඕනෑම නගරයක ඉලෙක්ට්‍රොනික බඩු විකුණන කඩවලින් මෙම උපකරණ ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා පහත රුප පෙළ නරබන්න.රුප ලොකුවට බැලීමට රූපය මත ක්ලික් කරන්න.


ඔබට ජය!
 

Wednesday, January 1, 2014

සිංහල ෆොන්ට් සියල්ල එක තැනින්..

මම ඔයාලට හදුන්වා දුන් LED නාම පුවරු පාඩම් මාලාවට වැදගත් වන සිංහල ෆොන්ට් සියල්ල එක තැනකින් බා ගැනීමට සුදානම් කළා..ඔයාලා ඒවා ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කර ගන්න.විශේෂයෙන් LED නාම පුවරු නිෂ්පානයේදී එහි යොදන අකුරු විවිධ රටා වලින් යුක්ත වීම ඉතා හොඳයි.එවිට වඩා අලංකාරවත් නාම පුවරු නිෂ්පාදනය කල හැකියි.
එම ෆොන්ට් සියල්ල ලබා ගැනීමට පහත රුපය ක්ලික් කරන්න.
sinhala fonts
එම ෆොන්ට් බාගෙන ඒවා පරිගණකයට නිවැරදිව ස්ථාපනය කර ගත යුතුයි.වින්ඩෝස් XP සඳහා ස්ථාපනය පහත අයුරින් කරන්න.
1.ඔබ බා ගත් ෆොන්ට් සියල්ල extract කරන්න  මෙහෙම.
 2.ඒවා සියල්ල රයිට් ක්ලික් කර කොපි කරගන්න.
3.XP වල කොන්ට්‍රෝල් පැනල් එකට යන්න.එහි ඇති fonts නමැති ෆෝල්ඩරය සොයා එය මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් paste තෝරන්න.
සියල්ල ස්ථාපනය වනු ඇති.දැන් පරිගණකය නැවත ආරම්භ කරන්න.powerled මෘදුකාංගය විවුර්ත කර එහි text යොදන කොටසේ ෆොන්ට් වර්ග පරික්ෂා කරන්න.සියලුම ෆොන්ට් දිස්වේ නම් ඔබේ කාර්ය අවසන්ය.
4.වින්ඩෝස්7 සඳහා නම් extract කල ෆොන්ට් මත ඩබල් ක්ලික් කරන්න.මතුවන අලුත් වින්ඩෝවේ ඉහළින් ඇති install යන්න ක්ලික් කරන්න.එලෙස සියලු ෆොන්ට් ස්ථාපනය කරන්න.
ඔබට ජය!

Tuesday, December 31, 2013

ඉමජන්සි ලාම්පුවටත් LED බල්බයක් දාමු..

  ඔයාලා දැන් විවිධ වර්ගයේ LED බල්බ් හදලා ඇති.මම අද කියලා දෙන්නම් තවත් වැදගත් බල්බයක් ගැන.ගොඩක් නිවෙස් වල භාවිතා කරණ බල්බ වර්ගයක් තමයි හදිසි ලාම්පු නැත් නම් ඉමජන්සි ලයිට්.අපට විදුලිය නැතිවූ මොහොතක මෙම බල්බය ඉතා වැදගත් වෙනවා.විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවෙස් වලට මෙම බල්බය අතිෂයින් වැදගත් වෙනවා..මම පෙන්වා දී ඇති ලාම්පුවට අවශ්‍ය වෙන්නේ LED බල්බ 67 කින් යුතු
බල්බයක්.මේකේ වොට් ගණන 4.5 ක විතර වෙනවා.බල්බයට වියදම රු.515.00 විතර තමයි යන්නේ.පිටකොටුවේ වික්‍රමප්ලසා එකේ දෙවන මහලේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් එකෙන් ගන්න පුළුවන්.මෙම බල්බයට එන PCB එකේ LED බල්බ 10 බැගින් පාස්සන්න පුළුවන් තීරු හැඩ PCB 6ක් ඇති.එම PCB තුන බැගින් සමාන්තර ගත ක්‍රමයට සවිකරලා ඉතිරි රවූම් හැඩ PCB එකට ශ්‍රේණි ගත වන ලෙස සවිකරන්න.
සාමන්‍ය ලාම්පුවට එන්නේ CFL බල්බ් එකක්.එකේ විදුලි පාරිභෝජනය වැඩියි.ඉක්මනින් බැටරිය බැස යනවා.නමුත් LED බල්බය දැම්මාම ඊට වඩා දෙගුණයක පමණ කාලයක් බල්බය දල්වා තබා ගත හැකියි.මේකට SMD බල්බ සුදුසු නැහැ.මොකද ඒවා වැඩ කරන විට තාපය පිට වෙනවා..තාපය පිට වෙනවා කියන්නේ ශක්තිය හානි වීමක්.මෙම LED බල්බයට බොහෝවිට යොදා ගත යුත්තේ පොට සහිත ඇඩප්ටරයක්.මෙය බල්බය මිලදී ගන්නා විට එය ලබා ගත හැකියි.

මෙම ඉමජන්සි ලාම්පු භාවිතා කිරීමේදී විශේෂයෙන් සැලකිය යුතු වන්නේ එහි බැටරිය සෑම විටම ආරෝපණ තත්වයෙන් තබා ගැනීමයි.බැටරිය බැසගොස් දින කීපයක් තැබූ විට එම බැටරිය නැවත ආරෝපණය කල නොහැකි තත්වයට පත් වෙනවා.එනිසා දිනපතා එය ආරෝපණය වන්නට සැලැස් විය යුතුයි.එමෙන්ම බැටරිය බැසගොස් එය නැවත ආරෝපණය වීම හෙවත් "රිෆ්‍රෙශ්"වීම දිනපතා සිදුවනවා නම් බැටරියේ ආයුකාලය ඉතා දිගු බව කිව යුතුයි.
ඔබට ජය!

සිංහල වෙබ් ලියන්නන්ට සුභ නව වසරක්..

    ශ්‍රී ලංකාවේ දැන් සිංහලින් රචිත වෙබ් අඩවි ගනනාවකි.සිංහල රචකයන් විසින් ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ ඉදිරියට හගෙනයාම  සඳහා විශාල සේවයක් ඉටුකරයි.වසරක තිහක අමානුෂික යද්ධය ඉවත් වත්ම අපට නිදහසේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සංචාරයට අවස්තාව ලැබී තිබේ.කොටින්ම කීවෙත් දැන් අප සියලු දෙනා ගෙවන්නේ "බෝනස්" කාලයකි.මන්ද ත්‍රස්තවාදය අප රට තුල තවමත් ඉතිරිව තිබුනේ නම් ඇතැම් විට මෙම බ්ලොග් අඩවිය ලියන මා වත් ඉතුරු නොවන්නට ඉඩ තිබිණ.ඒ තරමට අපගේ ජිවිත දිනපතා අනතුරට ලක්වෙමින් තිබිණ..තවමත් විවිධ වෙස් ගෙන ඒ අඳුරු සෙවනැලි අපට විටින් විට විවිධ අපවාද නගයි..එහෙත් මතු කිසිදිනක යලි එවන් අඳුරු යුගයක් නොඑනු ඇතැයි හෙටදින තරයේ  විශ්වාස කරයි.
ඔබ සියලු දෙනාට සුභ නව වසරක් වේවා!

Sunday, December 29, 2013

LED නාම පුවරු පෙන් එකෙන් ප්‍රෝග්‍රෑම් කරමු.

  ඔබ විසින් සකසන ලද LED නාමපුවරුවට අවශ්‍ය වාක්‍ය හා අනිකුත් තොරතුර ඇතුලත් කිරීමට ඔබ ඩේටා කේබලයක් හා ලැප්ටොප් පරිගණකයක් රැගෙන පුවරුව අසලට යායුතුය.එය තරමක අපහසු කටයුත්තක් බව ඔබට වැටහී ඇති.එයටද පිලියමක් මම ඔබට කියාදෙමි.එනම් ඔබේ ඩෙක්ස්ටොප් පරිගණකය මගින් සකස්කරන ලද වැඩසටහන පෙන් ඩ්‍රයිව් එකක
ගබඩා කරගෙන ගොස්  LED නාම පුවරුවට සවිකර එය PROGRAMMING කිරීමයි.දැන් එය සිදු කරන අයුරු බලමු.

                පෙන් ඩ්‍රයිව් එකක් මගින් දත්ත ඇතුලත් කිරීමට නම් USB පොර්ට් එකක් සහිත CONTROLLER පරිපථයක් තිබිය යුතුය.එවැනි පරිපථයක් USB පොර්ට් එකක් නැති CONTROLLER එකකට වඩා මිලෙන් වැඩිය.TF MU එවැනි CONTROLLER CIRCUIT එකකට උදාහරණයකි.USB පෝර්ට් පමණක් ඇති CONTROLLER එකක් වන්නේ TF SU ය.
                                 ඔබ මුලින්ම අලුත් පෙන් ඩ්‍රයිව් එකක් මිලදී ගන්න.එහි වෙනත් කිසිම ෆයිල් එකක් නොතිබිය යුතුය.එය ඩෙක්ස්ටොප් එකට හෝ ඔබේ ලැප්ටොප් එකට සවිකර POWER LED මෘදුකාංගය විවුර්ත කර එහි ඔබට අවශ්‍ය සෙටින්ස් සකසන්න.ඔබසකස් කල සෙටින්ස් වෙනත් තැනක ලියා තබන්න.දැන් POWER LED මෘදුකාංගයේ ඉහලින්ම දක්නට ලැබෙන Exp නමැති ටැබ් එක ක්ලික් කරන්න.වෙනම ඩයලොග් බොක්ස් එකක් විවුර්තවී එහි යම් මුර පදයක් ඉල්ලා සිටී නම් එය 168 ලෙස දෙන්න.එවිට export to USB Disk නම් තවත් ඩයලොග් බොක්ස් එකක් විවුර්ත වනු ඇති.එහි INCLUDE PANEL PARAMETERS ලෙස දැක්වෙන කොටුවට හරි ලකුණ යොදන්න.අනික් ඒවා වෙනස් නොකරන්න.දැන් SAVE යන්න ක්ලික් කරන්න.SAVE PROJECT SUCCEED යනුවෙන් දිස්වුවහොත් ඔබේ කාර්ය අවසන්ය.
           දැන් පෙන් ඩ්‍රයිව් එක ගලවා ඔබේ පුවරුවේ CONTROLLER  CIRCUIT එකේ USB පොර්ට් එකට සවිකරන්න.මෙවිට ඔබේ පුවරුවට හා CONTROLLER CIRCUIT එකට විදුලිය සපයා තිබිය යුතුය.ටිකවෙලාවකින් OK ලෙස ඔබේ පුවරුවේ දිස්වනු ඇති.දැන් පෙන් ඩ්‍රයිව් එක ගලවන්න.එවිට ඔබ ඇතුළු කල ආකාරයට එහි සියල්ල දිස්වනු ඇති.එසේ නොවන්නේ නම් CONTROLLER CIRCUIT එක RESET කර නැවත උත්සාහ කර බලන්න.තදුරටත් එසේ නොවන්නේ නම් CONTROLLER CIRCUIT එකේ දෝෂයක් වීමට පුළුවන.එවැනි CONTROLLER CIRCUIT ඩේටා කේබලය මගින් PROGRAMMING කරන්න.
USB පමණක් ඇති ඒවා දෝෂ සහගත නම් අලුත් එකක් යොදා ගන්න..

ඔබට ජය!

Saturday, December 28, 2013

LED නාම පුවරු වලට රාමු හදමු..

 මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ LED නාම පුවරු වලට රාමුවක් අඩු වියදමකින් හදා ගන්න හැටි.මුලින්ම ඔයාල තීරණය කරන්න ඕනා හදන්නේ නිවසින් පිටත සවිකරන පුවරුවක්ද නැතිනම් නිවසක් තුල සවිකරන පුවරුවක්ද කියලා නිවසක් තුල ඒ කිවේ Indoor නම් වැඩේ ලේසියි.එකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස් ටික..
1.ඇලුමිනියම් බොක්ස් බාර් අඟල් 3x1
2.රිවට් ඇන.(නුල් බාගය)
3.ඇලුමිනියම් තහඩු.

4.L හැඩ ඇලුමිනියම් පටි.
ඔයාලම හදනවා නම් මෙම උපකරණ තියෙන්න ඕනා.
1.ඇලුමිනියම් කැපීමට යකඩ කපන කියතක් හා එහි ෆ්‍රේම් එක.
2.සිදුරු විදීමට ඩ්‍රිල් එකක්..
3.රිවට් මැෂින් එකක්.
4.මුළු මට්ටමක්.
මුලින්ම කියන්න ඕනා මෙම උපකරණ භාවිතා කිරීමට ඔබට පුංචි දක්ෂ කමක් තියෙන්න ඕනා..අත හුරුවත් වැදගත්..මුලින්ම ඔයාලට Indoor වර්ගයේ එකක් හදන හැටි කියා දෙන්නම්.
ඔයාලා සවි කිරීමට යන මොඩියුල ගණන අනුව රාමුවේ ප්‍රමාණය තීරණය වෙනවා..ඒ නිසා ඒ අනුව ඇලුමිනියම් බොක්ස් බාර් එක කපා ගත යුතුයි.අප සාමාන්‍යයෙන් භාවිතා කරන මොඩියුලයක් සෙන්ටිමීටර් 32 දිගකින් හා සෙන්ටිමීටර් 16 පළලකින් යුතු වෙනවා..මෙය සම්මත අගයක්.මෙම අගයේ ගුනාකාර වලින් තමයි රාමුවේ දීග  පළල ගන්නේ .තනි මොඩියුල පේලියක් සවිරන පුවරුවක නම් මොඩියුල වල දිගට වඩා තවත් අඟල් දෙකක් දිගට බොක්ස් බාර් එක කපන්න ඕනා බව ඔබට පෙනේවි.පළලත් එහෙම තමයි මොඩියුල වල පළලට වඩා අඟල් 2 ක දිගට ඒවා කපා ගන්න ඕනා..කැපීමේදී ඒවා කොටස් එකිනෙකින් වෙන් කිරීමට අවශ්‍ය නැහැ.දිගට ඇති බොක්ස් බාර් එක නිවැරදි ආකාරයට මැන සටහන් කර පසුව පරිස්සමින් කැපිය යුතු වෙනවා.මේ සඳහා තවත් අයකුගේ සහාය අවශ්‍ය වෙනවා.කැපීමේදී අංශක 45 කැපිය යුතු වෙනවා..පරිස්සමින් කපන්න.වරක් හෝ නැමුන හොත් එය දෙකට වෙන්වන නිසා.කැපුන ස්ථානයෙන් නැමීමේදී ද එක වරකින් එය නැමිය යුතු වෙනවා..
කපා අවසන්වූ පසු එය ඍජුකෝනාශ්‍ර ආකාරයට නවා ගන්න.ඉන් පසුව එහි ඇතුල් පැත්තෙන් L හැඩ ඇලුමිනියම් කැබලි කපා රිවට් ගසා ගන්න.හතර පැත්තෙන්ම ඇතුලතින් රිවට් ගැසූ පසු රාමුව ශක්තිමත් වේ.මේ සඳහා අඟල් 3X1 යොදා ගත්තේ අයි දැයි ඔබ අසාවි.අඟල් තුන බොක්ස් බාර් එක ගත් විට එහි ඇතුලත ඉඩ ප්‍රමාණය වැඩි වේ.එවිට අතුලත ම POWER SUPPLY සවිකළ හැක.අඟල් දෙක බොක්ස් බාර් යොදා ගත් විට පිටතින් POWER SUPPLY සවි කිරීමට සිදුවේ.රාමුවේ පිට පැත්තට ඇලුමිනියම් තහඩුවක් නියමිත මිනුම් වලට කපා බෝල්ට් ඇන මගින් සවිකරන්න.මොඩියුල සවි කිරීමට රාමුව ඇතුලත L ඇලුමිනියම් කැබලි සවි කල හැක.සියලුම මොඩියුල ෂෝර්ට් නොවන පරිදි රාමුවට සවි කල යුතුය.බල සැපයුම ලබා දීමට පෙර ෂෝර්ට් වීම ඇතිදැයි දෙතුන් වරක් පරික්ෂාකර බැලීම වැදගත්ය.මා පහතින් දක්වා ඇත්තේ අඟක් දෙක බොක්ස් බාර් එක යොදා සකස් කරන රාමුවක විස්තරවේ..

ඔබට ජය !

Friday, December 27, 2013

සුනාමියක් ආවොත්..

tsunami-sri-lanka
  මීට වසර නමයකට පෙර අපට අදවන් මතකයක් ඇති විනාශකාරී සුනාමිය අප සිත් තුලින් කිසිදා නොමැකෙන්නකි.මෙම ලිපිය ලියන්නේ සුනාමිය සිදුවී හරියටම වසර 9 ක් පිරෙන දිනයේදීය.මිනිස් ජිවිත දහස් ගණනකට මරු කැඳවමින් ලංකා මුහුදු වෙරළ ගිලගත් ඒ බිය කරු අත්දැකීම වෙරළ ආසන්නයේ ජිවත් වන මිනිසුන් අදටත් සිහිපත් කරන්නේ චකිතයෙනි.ඔවුන්ගේ සිත් සතන් තුල තාමත් ඇත්තේ යලි කවර දාක හෝ එවන් බියකරු අත්දැකීමක් ලැබිය හැකි බවයි.බොහොමයක් වෙරළබඩ ජනතාව තම ඉඩකඩම් විකුණා දමා රට ඇතුලට ගමන් කිරීමට ද මෙම හේතුව සමත් විඇත.
එකල සුනාමි ආ වකවානුවේ මා හෙද පුහුණුව ලබමින් සිටි කාලය
විය.2004 දෙසැම්බර මාසයේ  අප සිහිනෙන්වත් නොසිතු විපත පැමිණියේය.
මා කුඩා කල සිටම පුවත් පත් වලට තීරු ලිපි ලිවීමේ නිරතවිය.මෙම කාලය තුල ද මා විදුසර විද්‍යා සඟරාවට ලිපි ලීවෙමි..මා මුලින්ම විදුසර විද්‍යා සඟරාවට ලිපියක් ලීවේ මා අටවන වසරේ ශිෂ්‍යකුව සිටිය අවදියේදීය.2004 වසර සුපුරුදු ලෙස ගෙවී ගියත් වර්ෂය අවසාන දෙසැම්බර් මාසය තරමක් වෙනස් විය..මාසය මුලදී පමණ ඉන්දියන් සාගරයේ කුඩා භූමිකම්පාවක් සිදුවිය.එය දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට දැනුන බව මාහට ජනමාද්‍ය වලින් අසන්නට ලැබිණි.අලුත් තොරතුරක් ලද විගස ඒ පිළිබඳව හබා යාමේ සිතක්‌ මාහට තිබු බැවින් මා භූමිකම්පා පිළිබඳව මතකය අවදිකර මින් පෙර කියවූ පොත පත ද නැවත කියවා බැලීමි..ඊට වසර ගනනාවකට පෙර විදුසර විද්‍යා සඟරාව භූමිකම්පා නමින් පත්‍රය සමග පිරිනැමෙන විශ්වකෝෂයක් නිකුත් කර තිබුණි..එය මා මි‍ට පෙරද කීවා තුබූ අතර එහි වූ කරුණු මා සිතෙහි හොඳින් තැන්පත් වී තිබුණි...එහෙයින් ලංකාව අවට සිදුවූ මෙම කුඩා භූමිකම්පාව මහා භූමිකම්පාවට පෙර නිමිත්තක් දැයි මාහට නිකමට මෙන් සිතිනි.ඒ නිසා මේ පිලිබඳව තීරු ලිපියක් විදුසර පුවත්පතට ලියන්නට මා සිතුවෙමි..ලැබුන මද ඉඩ ප්‍රමාණයකින් මා එම ලිපිය ලීවෙමි..එහෙත් අවාසනාවකට මෙන් මාහට එම ලිපිය තැපෑල් කිරීමට නොහැකි වුයේ අපේ විභාග කටයුතු ලඟා වීම නිසාය.මා එම ලිපියෙන් මුහුද යට සිදුවන භූමිකම්පාවකින් පසුව රල ප්‍රහාරයක් ගොඩබිමට පැමිණ මහා විනාශයක් කල හැකි බව ලියා තිබිණි..එහෙත් අවාසනාවකට මෙන් එම ලිපිය මාහට පල කිරීමට නොහැකි විය.ඒ සුනාමි පැමිණීමට සති දෙකකට පෙරය.එය පළ වුවා ම්  එක මිනිස් ජිවිතයක් හෝ බේරීමට ඉඩ තිබුණි..මා අදටත් එම සිද්දිය සිහිපත් කරන්නේ බලවත් කනගාටුවෙනි.
*භූකම්පාවක දී අප මුලින්ම කලයුත්තේ කුමක්ද..
1.ඔබ සිටින්නේ උස මහල් ගොඩනැගිල්ලක නම් වහාම ඉන් ඉවත්ව එළිමහන් තැනකට යායුතු ය.
2.එසේ යා නොහැකිනම් උළුවස්සක් යටට හෝ මේසයක් යටට වී සිටීම හිතකරය.
3.ඔබ සිටින්නේ මුහුද ආශ්‍රිතව නම් වහාම සුනාමි පිළිබඳව සිතා බැලිය යුතුය.අපරට ආසන්නයේම සිදුවූ භුමිකම්පාවක සුනාමි තරංග ක්ෂණිකව උවද අප වෙතත ලඟාවිය හැකි බැවින් වඩාත් කලපනාකාරී විය යුතුය.
4.පැය දෙකක කාලයක් තුල සුනාමි පිළිබඳව අපට අනාවැකි ලැබෙන බව කීවද ඒ අපරටට ආසන්නව සිදුන භූමිකම්පා වල නොවේ.අපරටට ආසන්නව මුහුදු පත්ලේ භූමිකම්පාවක් කිසි දිනක සිදුනොවෙයි.කියන්නට ජගතකු ලොව නැත..
5.ඔබ සිටින්නේ මාද්‍යම කඳුකරය ආශ්‍රිතව නම් හෝ ජලාශ ආශ්‍රිතව නම් ඔබට ඉහළින් ඇති ජලාශ පිළිබඳව අවධානයෙන් සිටියයුතුය.රට ඇතුලත භුමිකම්පාවකින් මෙම ජලාශ කැඩී මහා විනාශයක් සිදුවිය හැක..
6.ගොඩබිම ප්‍රභල භූමිකම්පාවක් සිදුවහොත් ඔබ කිසි විටෙක ගිනිකූරක් හෝ නොදැල්විය යුතුය.මන්ද ගෑස් නල ආදිය කැඩී ගිනි ගැනීම සිදු විය හැකි බැවිනි..
7.ඔබව ධීවරයෙකු නම් මුහුදේ භූමිකම්පාවක් වූ බව සැලවුවිට කිසිවිටෙකත් ගොඩබිම ආසන්න මුහුදේ රැඳී නොසිටිය යුතුය.ගැඹුරු මුහුදේ සිටින අයට සුනාමි රල නොදැනේ..
8.ඔබ වෙරළේ රැඳී සිටින විට මුහුදු වෙරළ ට එන ජලය අසාමාන්‍ය ලෙස වැඩිවීමක් හෝ ජලය සිඳී වෙරළ පෑදීමක් වී නම් වහාම වෙරළින් ඉවත්ව උස් ස්ථානයකට ලඟා විය යුතුය.සුනාමි රැලක නිම්නයක් කලින් පැමිණියහොත් වැල්ල පෑදී මුහුද සිඳියයි.එහෙත් තරංගයක ඉහල කොටස පැමිණියහොත් මුහුදු වෙරළ ජලයෙන් පිරී යයි.එයද සුනාමි අවදානමකි.
මේ සියල්ල තැනට සුදුසු අන්දමින් ක්‍රියාත්මක කිරීමට ඇත්තේ ඔබටය.ස්වාභාවික විපතකින් බේරීමට තැනට සුදුසු ණුවනින් ක්‍රියා කල යුතුය.
ඔබට ජය!